ආසියාවේ ක්‍රිකට් අධිරාජ්‍යය හෑල්ලු වුනු ලෝක ක්‍රිකට් තරු සමග පැවති සුනාමි සහන තරගය මතකද

ICC World XI vs Asia XI Tsunami Relief OdI Match at Melbourne(2005)



        2004 වසරේදී මුලු ලෝකයම කම්පාවට පත් කරමින් සිදුවූ බිහිසුණු සුනාමි උවදුරෙන් පීඩාවට පත් රටවලට ආධාර කිරීම සදහා ICC විසින් ආසියානු ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගයක් සංවිධානය කරන ලදි.2005 වසරේ ජුනි 10 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.සව්‍-රව් ගංගුලි විසින් නායකත්වය දැරූ ආසියානු කණ්ඩායම සනත් ජයසූරිය,විරේන්ද්‍ර ෂෙවාග්,රාහුල් ඩ්‍රාවිඩ්,මොහොමඩ් යූසුප්,කුමාර් සංගක්කාර,අබ්දුල් රසාක්,චමින්ද වාස්,සහීර් ඛාන්,අනිල් කුම්බ්ලේ සහ මුත්තයියා මුරලිදරන්ගෙන් සමන්විත විය.ක්‍රිස් ග්‍රේල්,ඇඩම් ගිල්ක්‍රිස්ට්,බ්‍රයන් ලාරා,ක්‍රිස් කෙයාන්ස්,ග්ලේන් මැක්ග්‍රාත්,ස්ටෙෆන් ෆ්ලෙමිං ,මැතිව් හේඩ්න්,ඩැනියල් වෙටෝරි,ෂේන් වෝන් සහ ඩැරන් ගෆ්ගෙන් සැදුම්ලත් ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවන ලැබුවේ රිකී පොන්ටිං විසිනි.


        
     කාසියේ වාසිය දිනූ රිකී පොන්ටිං පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.ක්‍රිස් ග්‍රේල් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් ආරම්භ කළ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 344ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.කවදත් නායකත්වයේ වගකීම කරට ගන්නා රිකී පොන්ටිං ආසියානු පන්දු යවන්නන්ට ප්‍රහාරයක් එල්ල කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළේය.පන්දු 102කදී ලකුණු 115ක් රැස්කළ පොන්ටිං 4 පහර 8ක් සහ 6 පහර 3කින් සිය ඉනිම වර්ණවත් කරන ලදි.4 පහර 6ක් සහ 6 පහර 2ක් සමග ක්‍රිස් කෙයාන්ස් වේගවත් ලකුණු 69ක් රැස්කළේ පන්දු 47කට පමණක් මුහුණ දෙමිනි.බ්‍රයන් ලාරා ලකුණු 52ක් රැස්කළ අතර එයට 4 පහර 3ක් අන්තර්ගත විය.

  පන්දු යැවීමේදී ආසියානු කණ්ඩායම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් ලකුණු 59කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර සහීර් ඛාන් සහ අනිල් කුම්බ්ලේ කඩුලු 2ක් ද චමින්ද වාස් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.


      
    ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආසියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ සනත් ජයසූරිය සමග විරේන්ද්‍ර ෂෙවාග්‍ ය.කෙසේ වෙතත් ආසියානු කණ්ඩායමට පන්දුවාර 39.1 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 232ක් පමණි.ආසියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාහුල් ඩ්‍රාවිඩ් නොදැවී ලකුණු 75*ක් රැස්කළේ පන්දු 71කට මුහුණ දෙමිනි.4 පහර 5ක් ඔහුගේ ඉනිමට එක්වී තිබුණි.4 පහර 5ක් සහ එක් 6 පහරක් සමගින් පන්දු 39කදී විරේන්ද්‍ර ෂෙවාග් රැස්කළ ලකුණු සංඛ්‍යාව 45කි.සනත් ජයසූරිය ලකුණු 28ක් සහ කුමාර් සංගක්කාර ලකුණු 24ක් ලබා ගත් හ.

     ලෝක කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ඩැනියල් වෙටෝරි ලකුණු 58කට කඩුලු 3ක් බිඳ දැමුවේය.ෂේන් වෝන් කඩුලු 2ක් ද ක්‍රිස් කෙයාන්ස්,ග්ලේන් මැක්ග්‍රාත් සහ ඩැරන් ගෆ් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වූහ.ලෝක ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 112ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවූ අතර සුපිරි ශතකයක් වාර්තා කළ රිකී පොන්ටිං තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

      මෙවැනි තවත් රසබර විශේෂ තරගයක තොරතුරු සමග නැවත හමුවෙමු.         

Comments