ආසියාව සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම 2005දී අතර පැවැති සුනාමි සහන T20 ක්‍රිකට් තරගය
Asia XI vs International XI Tsunami Appeal T20 Match at Kennington Oval,London(2005)
2004 සුනාමි උවදුරෙන් පීඩාවට පත් රටවලට ආධාර කිරීම සදහා T20 තරගයක් ආසියානු කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර සංවිධානය කෙරිණි.2005 ජුනි 20 වැනි දින මෙම තරගය ලන්ඩනයේ කෙනිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙවර ආසියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ රාහුල් ඩ්‍රාවිඩ් හටයි.සනත් ජයසූරිය,විරේන්ද්‍ර ෂෙවාග්,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන, මොහොමඩ් කයිෆ්,චමින්ද වාස්,ඉර්ෆාන් පතාන්, හර්බජාන් සිං,අනිල් කුම්බ්ලේ සමග මුත්තයියා මුරලිදරන්ගෙන් ආසියානු කණ්ඩායමේ සංයුතිය සකස් විය.ග්‍රේග් බ්ලෙවට්,ස්ටෙෆන් ෆ්ලෙමිං, ඇන්ඩි ෆ්ලවර්,ක්‍රිස් කෙයාන්ස්,ස්කොට් ස්ටයිරිස්, ඇඩම් හොලියොක්ස්,ෂෝන් පොලොක්,ඩැරල් තෝර්න්ලේ,ෂේන් වෝන් සහ මකායා න්ටිනි නියෝජනය කළ ලෝක කණ්ඩායමේ නායකත්වය බ්‍රයන් ලාරා වෙත පැවරී තිබුණි.
තරගයේ කාසියේ වාසිය ආසියානු නායක රාහුල් ඩ්‍රාවිඩ් සතුවූ අතර පළමුව පිතිකරණයේ යෙදීම ඔහුගේ තීරණය විය.සනත් ජයසූරිය සමග විරේන්ද්‍ර ෂෙවාග් ආසියානු ඉනිම ඇරඹූ අතර පන්දුවාර 19.1 කදී ලකුණු 157කට ආසියානු ඉනිම නිමාවිය.නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ රාහුල් ඩ්‍රාවිඩ් පන්දු 47කදී අගනා ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත් විය.4 පහර 7කින් ඔහුගේ ඉනිම හැඩගැන්විණි.4 පහර 5ක් සමගින් සනත් ජයසූරිය ලකුණු 27ක් පන්දු 15කදී ලබා ගැනීමට සමත් විය.මහේල ජයවර්ධන ලකුණු 24ක් සහ කුමාර් සංගක්කාර ලකුණු 15ක් රැස් කළහ.
පන්දු යැවීමේදී ඇඩම් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.ආසියානු නායක රාහුල් ඩ්‍රාවිඩ්,චමින්ද වාස් සහ අනිල් කුම්බ්ලේ හොලියොක්ස්ගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු විය. ඩැරල් තෝර්න්ලේ සහ ස්කොට් ස්ටයිරිස් කඩුලු 2ක් ද ෂෝන් පොලොක් සහ ක්‍රිස් කෙයාන්ස් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.
ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ලෝක ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.1 කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 161ක් රැස්කර කඩුලු 6ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය.ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ ආරම්භක පිතිකරු ග්‍රේග් බ්ලෙවට් ආසියානු පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 61කදී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 91*කි.4 පහර 7කින් සහ 6 පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. 4 පහර 3ක් සහ 6 පහර 3ක් සමග අධිවේගී ඉනිමක් ක්‍රියාත්මක කළ ස්කොට් ස්ටයිරිස් පන්දු 18කදී ලකුණු 39ක් රැස්කර ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
පන්දු යැවීමේදී අනිල් කුම්බ්ලේ,ඉර්ෆාන් පතාන් සහ හර්බජාන් සිං එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.තරගයේ වීරයා ලෙස ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ ග්‍රේග් බ්ලෙවට් නම් කරන ලදි.ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ෂේන් වෝන් ද ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් මුත්තයියා මුරලිදරන් ද පන්දු යැවීමේ නිරත වූ නමුත් ඔවුන්ට එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
රසවත් තරගයක තොරතුරු සමග නැවත හමුවෙන තුරු තෙරුවන් සරණයි.
Comments
Post a Comment