ආසියානු කණ්ඩායම සමග ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර 2000 වසරේදී බංග්ලාදේශයේ පැවති සුපිරි එක්දින තරගය මතකද
Asia XI VS Rest Of The World XI Super OdI at Bangabandu National Stadium Dhaka(2000)
ආසියානු ක්‍රිකට් තරු කණ්ඩායම සමග ලෝකයේ සෙසු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම අතර සුපිරි එක්දින ක්‍රිකට් තරගයක් 2000 වසරේදී අප්‍රේල් 8 වන දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි බන්ගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.ආසියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ පාකිස්තාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් හටයි.සනත් ජයසූරිය,සචින් තෙන්දුල්කාර්,සව්-රව් ගංගුලි,අරවින්ද ද සිල්වා,අජේ ජඩේජා,අබ්දුල් රසාක්,මොයින් ඛාන්,අනිල් කුම්බ්ලේ,චමින්ද වාස් සමග මුත්තයියා මුරලිදරන් ආසියානු කණ්ඩායම නියෝජනය කළහ.නීල් ජොන්සන්,ජැක් කලීස්,මයිකල් බෙවන්,ක්‍රිස් කෙයාන්ස්,ලාන්ස් ක්ලූස්නර්,ඇඩම් ගිල්ක්‍රිස්ට්,ෆ්‍රෑන්ක්ලින් රෝස්,ඇන්ඩෘ කැඩික්,එම්.හොවාර්ඩ් සහ පෝල් ටෆ්නර්ගෙන් සමන්විත වූ ලෝක කණ්ඩායම මෙහෙයවන ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මාර්ක් වෝ විසිනි.තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ආසියානු කණ්ඩායමේ නායක වසීම් අක්‍රම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ආසියානු ඉනිම සනත් ජයසූරිය සමග සචින් තෙන්දුල්කාර් ඇරඹූ අතර මුළු ලකුණු 49දී පළමු කඩුල්ල ලෙස සනත් ජයසූරිය දැවීගිය අතර ඔහු රැස්කළේ ලකුණු 12ක් පමණි.ඉන් අනතුරුව පිටියට පිවිසි සව්-රව් ගංගුලි සචින් තෙන්දුල්කාර් සමග ලකුණු 114ක සබදතාවක් ගොඩ නැගුවේය.මුළු ලකුණු 163දී තෙන්දුල්කාර් දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර පන්දු 77කදී ලකුණු 80ක් ඔහු රැස්කර තිබුණේ 4 පහර 11ක් ඉනිමට අන්තර්ගත කරමිනි.තෙවන කඩුල්ල ලෙස ගංගුලි දැවීයන විට 4 පහර 6ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 67ක් රැස්කළේ පන්දු 66කදීය. අරවින්ද ද සිල්වා ලකුණු 39ක් සහ මොයින් ඛාන් ලකුණු 34ක් ලබා ගනිමින් ආසියානු ඉනිම සවිමත් කළහ.නියමිත පන්දුවාර 50 අවසානයේ ආසියානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 320ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී එම්.හොවාර්ඩ් ලකුණු 39කට බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 3කි.පෝල් ටෆ්නර් සහ මාර්ක් වෝ කඩුලු 2ක් ද මයිකල් බෙවන් එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වූහ.
ලකුණු 321ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ලෝකතරු කණ්ඩායමේ ආරම්භය සාර්ථක නොවූ අතර මුල් කඩුල්ල ලකුණු 28දී බිඳ වැටුණි.නීල් ජොන්සන් රැස් කළේ ලකුණු 2ක් පමණි.ලකුණු 28ක් ලබාසිටි මාර්ක් වෝ දෙවන කඩුල්ල ලෙස දැවීයන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 43ක් ලෙසය.මුළු ලකුණු 97දී කඩුල්ල ලෙස ජැක් කලීස් දැවීයන විට ලකුණු 27ක් රැස්කර තිබුණි. ලාන්ස් ක්ලූස්නර් ලකුණු 16කටත් ක්‍රිස් කෙයාන්ස් ලකුණු 8කටත් දැවීගිය අතර ඇඩම් ගිල්ක්‍රිස්ට් හට ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි.ලෝකතරු කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 196ක් තුළ බිඳ වැටුණි.9 වන පිතිකරු ලෙස පිටියට එක්වූ ඇන්ඩෘ කැඩික් එක් අන්තයක හුදෙකලා සටනක නිරත වෙමින් සිටි මයිකල් බෙවන් සමග ලකුණු 119ක අගනා සබදතාවක් ගොඩ නැගීමට සමත් විය.ඇන්ඩෘ කැඩික් ලකුණු 28කට දැවීගිය අතර ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ එක් 6 පහරක් අන්තර්ගත විය.අවසාන පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා ලෝක කණ්ඩායමට ලකුණු 15ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණි.මුල් පන්දු 5ට ලකුණු 9ක් ලෝක කණ්ඩායම ලබාගත් අතර ජයග්‍රහණය සදහා අවසන් පන්දුවේදී ලකුණු 6ක් අවශ්‍ය විය.මයිකල් බෙවන් එල්ල කළ පහර එක් වරක් පතිත වී හතරේ සීමාව ඉක්මවා ගියේ ආසියානු කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් හිමිකර දෙමිනි.ලෝක කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 50දි කඩුලු 8ක් දැවී ලකුණු 319ක් ලෙස දැක්විණි. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අනභිභවනීය පිතිහරඹයක නිරත වූ මයිකල් බෙවන් පන්දු 132කදී නොදැවී ලකුණු 185*ක් රැස්කළ අතර 4 පහර 19ක් සහ 6 පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
පන්දු යැවීමේදී ආසියානු කණ්ඩායම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ අබ්දුල් රසාක් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.වසීම් අක්‍රම්,චමින්ද වාස් සහ අනිල් කුම්බ්ලේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.
හොඳම පන්දු රකින්නා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කළ අතර හොඳම පිතිකරු ලෙස මයිකල් බෙවන් ද හොඳම පන්දු යවන්නා ලෙස එම්.හොවාර්ඩ් ඇගයුමට ලක්විය.විශ්මිත පිතිහරඹයක නිරත වූ මයිකල් බෙවන් තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.අමරණීය තරග මතක සටහනකින් නැවත හමුවෙමු.
Comments
Post a Comment