සනත් ජයසූරියගේ ආසියානු කණ්ඩායම සමග බ්‍රයන් ලාරාගේ ලෝක ක්‍රිකට් කණ්ඩායම ගැටුණු 2014 වසරේදී පැවති T20 ක්‍රිකට් තරගය

World XI vs Asia XI Eid T20 Challenge match at West End Park Cricket Stadium Doha Qatar 2014



        2014 වසරේදී ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු ක්‍රිකට් කණ්ඩායම අතර T20 අභියෝගතා තරගයක් පැවැත්වුණා.ඒ දෝහාකටාර් වල වෙස්ට් එන්ඩ් පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.මෙහිදී ආසියානු කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හටයි. තමීම් ඉක්බාල් (Bangladesh), චාමර කපුගෙදර(Sri Lanka),ඇන්ජෙලෝ පෙරේරා(Sri Lanka),අබ්දුල් රසාක්(Pakistan), මාවන් අතපත්තු(Sri Lanka),ආකාශ් චොප්රා (India),රෂීඩ් ලතීෆ්(Pakistan),යසීර් අර්ෆත් (Pakistan),ආවාස් මලික්(Pakistan) සමග ඉම්-රාන් නසීර්(Pakistan) ආසියානු කණ්ඩායමේ සෙසු සමාජිකයන් වුණා.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බ්‍රයන් ලාරා විසින් නායකත්වය දැරූ ලෝක ක්‍රිකට් කණ්ඩායමට බ්‍රෙන්ඩන් ට්‍රේලර්(Zimbabwe),හර්ෂල් ගිබ්ස් (South Africa),ඩේමියන් මාටින්(Australia), ඔවයිස් ෂාහ්(England),රයන් ටෙන්ඩෙස්කාර් (Netherlands),රිකී වොස්ල්(Australia), සාජ් මහ්මූද්(England),සැමුවෙල් බද්‍රි(West Indise), ජේසන් ගිලෙස්පි(Australia) සමග කෝරී කොලොමෝර්(West Indies) ඇතුළත් වුණා. 

  
       කාසියේ වාසිය ජයග්‍රහණය කළ ලෝක ක්‍රිකට් කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස්කර ගැනීමට සමත් විය. නායක බ්‍රයන් ලාරා පන්දු 44කදී ලකුණු 47ක් ලබාගත් අතර 4 පහර 2ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබුණි.වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ඔවයිස් ෂාහ් 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 43ක් රැස්කළ අතර ඔහු ඒ සදහා වැයකර තිබුණේ පන්දු 22ක් පමණි.හර්ෂල් ගිබ්ස් ලකුණු 22ක් රැස් කළේය. 

පන්දු යැවීමේදී ආසියානු කණ්ඩායම වෙනුවෙන් ආකාශ් චොප්රා කඩුලු 3ක් ද යසීර් අර්ෆත් කඩුලු 2ක් සහ අබ්දුල් රසාක් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.





         ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආසියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.ඒ අනූව ලකුණු 5ක තියුණු ජයක් ලෝක ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය.ආසියානු කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් පන්දු 31කදී ලකුණු 42ක් රැස්කළ අතර 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඔහුගේ ඉනිමට අන්තර්ගත විය.ඇන්ජෙලෝ පෙරේරා නොදැවී ලකුණු 31*ක් සහ නායක සනත් ජයසූරිය ලකුණු 25ක් රැස් කළහ.

       ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් රයන් ටෙන්ඩෙස්කාර් ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර කෝරී කොලිමෝර් කඩුලු 2ක් ද සැමුවෙල් බද්‍රි සහ සාජ් මහ්මූද් එක් කඩුල්ල බැගින් ද බිඳ දැමීමට සමත් වූහ.එවකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රිකට් තරු කිහිපයක්ම මෙම තරගයේදී නැවත දැකගන්නට ලැබීම සුවිශේෂී සිදුවීමක් විය.

       අපූරු ක්‍රිකට් මතක සටහන් ගොන්නක තවත් එක් පිටුවක් සමග නැවත හමුවෙමු.

Comments