ඕස්ට්‍රේලියාව සමග ලෝක ක්‍රිකට් තරු ගැටුණු 2005 වසරේ පැවති දින 6 සුපිරි ටෙස්ට් තරගය මතකද
Australia vs ICC World XI 6 Day super test match at Sydney
- 2005 වසරේදී එවකට ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම සමග සුපිරි ක්‍රිකට් තරගාවලියක් ICC විසින් සංවිධානය කරන ලදි.සුපිරි එක්දින තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට ලෝකශූර ඕස්ට්‍රේලියාව සමත් විය.ඉන් අනතුරුව දින 6ක සුපිරි ටෙස්ට් තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2005 ඔක්තෝම්බර් 14 වෙනි දින ආරම්භ විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම රිකී පොන්ටිං විසින් මෙහෙය වූ අතර ජස්ටින් ලැංගර්,මැතිව් හේඩ්න්,මයිකල් ක්ලාර්ක්,සයිමන් කැට්ච්,ඇඩම් ගිල්ක්‍රිස්ට්,ෂේන් වොට්සන්,ෂේන් වෝන්,බ්‍රෙට් ලී,ග්ලේන් මැක්ග්‍රාත් සමග ස්ටුවර්ට් මැක්ගිල් කණ්ඩායම සෙසු සාමාජිකයන් විය.ග්‍රැහැම් ස්මිත් විසින් මෙහෙයවනු ලැබූ ලෝක ක්‍රිකට් කණ්ඩායම විරේන්ද්‍ර ෂෙවාග්,රාහුල් ඩ්‍රාවිඩ්,බ්‍රයන් ලාරා,ජැක් කලීස්,ඉන්සමාම් උල් හක්,ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්,මාර්ක් බවුචර්,ඩැනියල් වෙටෝරි,ස්ටීව් හාර්මිසන් සහ මුත්තයියා මුරලිදරන්ගෙන් සමන්විත විය.කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං සමත්වූ අතර තරගයේ පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.
පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී ලකුණු 345ක් රැස් කිරීමට සමත් වූහ.අගනා ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් පන්දු 180කදී ලකුණු 111ක් රැස් කළේ 4 පහර 12ක් සමගිනි.වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 94ක් ලබාගත්තේ පන්දු 111කට මුහුණ දෙමිනි.4 පහර 8ක් සහ 6 පහර 4කින් ගිල්ක්‍රිස්ට්ගේ ඉනිම වර්ණවත් විය.නායක රිකී පොන්ටිං ලකුණු 46ක් සහ මයිකල් ක්ලාර්ක් ලකුණු 39ක් රැස් කළහ.කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ලකුණු 59කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.මුත්තයියා මුරලිදරන් කඩුලු 2ක් සහ ස්ටීව් හාර්මිසන් සහ ඩැනියල් වෙටෝරි එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
පළමු ඉනිම ක්‍රීඩා කළ ලෝකතරු ක්‍රිකට් කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 190ක් පමණි.විරේන්ද්‍ර ෂෙවාග් 4 පහර 14ක් සමගින් පන්දු 82කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 76කි.ජැක් කලීස් ලකුණු 44ක් සහ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ලකුණු 35ක් රැස් කළහ. අනගි පන්දු යැවීමක නිරත වූ ස්ටුවර්ට් මැක්ගිල් ලකුණු 39කට බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 4කි.ෂේන් වෝන් කඩුලු 3ක් ද ග්ලේන් මැක්ග්‍රාත් කඩුලු 2ක් සහ බ්‍රෙට් ලී එක් කඩුල්ලක් ද බිඳ දැමූහ.
ලකුණු 155ක පළමු ඉනිමේ වාසියක් සමග දෙවන ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාවට සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 199කි. යළි ක්‍රියාත්මක වූ මැතිව් හේඩ්න් පන්දු 120කදී 4 පහර 9ක් සමගින් රැස්කළ ලකුණු 77ක් රැස් කළේය.නායක රිකී පොන්ටිං ලකුණු 54ක් පන්දු 111කදී රැස්කළේ 4 පහර 4ක් සමගිනි.ජස්ටින් ලැන්ගර් ලකුණු 22ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී ස්ටීව් හාර්මිසන්,ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ මුත්තයියා මුරලිදරන් කඩුලු 3 බැගින් ද ජැක් කලීස් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.
ලකුණු 355ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ලෝකතරු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 144කට දැවීගියේ ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 210ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. ලෝකතරු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජැක් කලීස් නොදැවී ලකුණු 39ක් ද බ්‍රයන් ලාරා ලකුණු 36ක් සහ රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 23ක් ද රැස් කළහ.විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්ටුවර්ට් මැක්ගිල් කඩුලු 5ක් බිඳ දැමුවේ ලකුණු 43ක් පමණක් ලබා දීමෙනි.ෂේන් වෝන් කඩුලු 3ක් සහ ග්ලේන් මැක්ග්‍රාත් සහ බ්‍රෙට් ලී එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වූහ.තරගයේ වීරයා ලෙස සුපිරි පිතිහරඹයක නිරත වූ මැතිව් හේඩ්න්(111 & 77) නම් කෙරිණි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ ඔදතෙද විදහාලූ සදා අනුස්මරණීය තරගයක් එලෙසින් නිමාවට පත්විය.මෙවැනිම අපූරු තරගයකින් නැවත හමුවෙමු.
Comments
Post a Comment