ලෝකශූර ඕස්ට්‍රේලියානුවන් සමග ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම ගැටුණු සුපිරි එක්දින තරගාවලියේ පළමු තරගය

Australia vs ICC Cricket XI 1'st Super ODI Match at Docklands Stadium,Melbourne(2005)



      2005 වසර වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වූයේ එවකට අඛණ්ඩව දෙවරක් ලෝක ක්‍රිකට් කිරුළට උරුමකම් කියූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම.සිය මව්‍බිමේ පැවති මෙන්ම විදේශයන්හී පැවති ඕස්ට්‍රේලියාව සහභාගි වූ තරගවලින් වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා.ලෝකයේ සෙසු එකදු කණ්ඩායමකටවත් ශ්‍රේණිගතකරණයේ ඔවුන් සමීපයට පැමිණීමට අසීරු වුණා.මේ කාලවකවානූවේදි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ ඔදතෙද විදහා පෑමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ලෝකයේ සෙසු රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සුපිරි ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළා.ඒ 2005 වසරේදි.සුපිරි එක්දින තරග 3ක් සමග දින 6ක සුපිරි ටෙස්ට් තරගයක් ලෝක ක්‍රිකට් තරු කණ්ඩායමේ සංචාරයට ඇතුළත් වුණා.මින් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්න 2005 ඔක්තෝම්බර් 5 වන දින පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හී ඩොක්ලෑන්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.අන්තර්ජාතික එක්දින තරගයක් ලෙස පැවති මෙහි ප්‍රධාන ක්‍රිකට් විනිසුරුවන් ලෙස අලීම් ඩාර් සමග සයිමන් ටව්ෆල් ද තෙවන විනිසුරු ලෙස රූඩි කර්ස්ටන්ද එක්වුණා.

     ලෝකශූර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු පරිදි රිකී පොන්ටිං විසින් මෙහෙයවනු ලැබූ අතර ඇඩම් ගිල්ක්‍රිස්ට්,සයිමන් කැට්ච්, ඩේමියන් මාටින්,මයිකල් ක්ලාර්ක්,මයිකල් හසී, ෂේන් වොට්සන්,බ්‍රෙට් ලී,ඇන්ඩෘ සයිමන්ස්, නේදන් බ්‍රැකන් සමග ග්ලේන් මැක්ග්‍රාත් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ අතර පළමු පන්දුවාර 50 අවසානයේ ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට හැකිවූ නිසා තරගයේ දෙවන අර්ධයට ඩේමියන් මාටින් වෙනුවට කැමරන් වයිට්‍ එක්විය.එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස සටහන් විය.

ෂෝන් පොලොක් විසින් නායකත්වය දැරූ ලෝක ක්‍රිකට් තරු කණ්ඩායමට කුමාර් සංගක්කාර,විරේන්ද්‍ර ෂෙවාග්,ජැක් කලීස්,බ්‍රයන් ලාරා,රාහුල් ඩ්‍රාවිඩ්,කෙවින් පීටර්සන්,ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්,ෂෝන් පොලොක්,ඩැනියල් වෙටෝරි,සොහේබ් අක්තාර් සමග මුත්තයියා මුරලිදරන් එක්වූ අතර පළමු අර්ධය නිමාවේදී මුරලිදරන් වෙනුවට කණ්ඩායමට එක්වූයේ සහීඩ් අෆ්‍රිඩියි.


      තරගයේ කාසියේ වාසිය රිකී පොන්ටිං විසින් ජයග්‍රහණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.සයිමන් කැට්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 78 කදී ලකුණු 58ක් රැස් කරමිනි.4 පහර 4ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත විය.ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 45ක් පන්දු 48 කදී ලබාගත් අතර 4 පහර 7ක් එම ඉනිමට එක්කර තිබුණි.ඇන්ඩෘ සයිමන්ස් ලකුණු 36ක් ද මයිකල් හසී ලකුණු 32ක් ද බ්‍රෙට් ලී නොදැවී ලකුණු 26*ක් සහ නායක රිකී පොන්ටිං 23ක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක් කිරීමට සමත් විය.නියමිත පන්දුවාර 50 අවසානයේ ඕස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 255ක් රැස් කළහ.

     ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඩැනියල් වෙටෝරි ලකුණු 33 කට බිද දැමූ කඩුලු සංඛ්‍යාව 4කි.මුත්තයියා මුරලිදරන් කඩුලු 2ක් ද ජැක් කලීස් සහ ෂෝන් පොලොක් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
     


      ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ලෝක ක්‍රිකට් තරු කණ්ඩායමට පන්දුවාර 41.3 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර 4 පහර 7ක් සමගින් පන්දු 94 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64කි. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පන්දු 52 කදී ලකුණු 38ක් රැස් කළ අතර 4 පහර 2ක් සහ එක් 6 පහරක් ඔහුගේ ඉනිමට අන්තර්ගත විය.සෙසු එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට කැන්ගරු පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබිණි.



      ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ෂේන් වොට්සන් ලකුණු 43 කට බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 3කි.ග්ලේන් මැක්ග්‍රාත් සහ බ්‍රෙට් ලී කඩුලු 2ක් ද නේදන් බ්‍රැකන් සහ ඇන්ඩෘ සයිමන්ස් එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වූහ.ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 93කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ෂේන් වොට්සන්‍ ය.

   ඕස්ට්‍රේලියාව සමග ලෝක ක්‍රිකට් තරු ගැටුණු දෙවන සුපිරි එක්දින ක්‍රිකට් තරගයේ තොරතුරු සමග නැවත හමුවෙමු.

Comments